Steering Damper ගැන සිංහලෙන්ම දැනගමු - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, June 28, 2020

Steering Damper ගැන සිංහලෙන්ම දැනගමු



කීප දෙනෙකුම SL Wandi පිටුවෙන් අහලා තිබ්බා මේ ස්ටියරිං ඩෑම්පර් එහෙමත් නැත්තම් ස්ටියරිං ස්ටේබලයිසර් එකක් වැඩ කරන්නෙ කොහොමද මේකේ වාසිය අවාසිය මොකද්ද මේ වගේ එකක් ඕනම බයික් එකකට සවි කරගන්න පුලුවන් ද වගේ ප්‍රශ්න කිහිපයක්. ඉතින් අද ලිපිය ලියන්නේ ඒ අය වෙනුවෙන්.

මොකද්ද මේ Steering Damper කියන්නේ?

Steering Damper එහෙමත් නැත්නම් Steering Stabilizer එකක් භාවිතා වෙන්නේ යතුරුපැදියෙහි හැඩලය ස්ථාවර තබා ගැනීමටයි. ඉහල වේගයන් වල ගමන් කරනා විට වලක හෝ යම් අස්ථාවර දෙයක ඉදිරිපස රෝදය ගැටුනහොත් හෝ වීලි කිරීමකින් පසුව රෝදය බිම තැබිමේදි නිසි ආකාරයට පොලව ස්පර්ශ නොවුනහොත් හැඩලය හෙලවී අස්ථාවර වී Tank Slapper වැනි දෙයක් වීමට ඉඩ ඇත . එනම් හැඩලය හෙල වී යතුරුපැදිය අනතුරට පත් වීමක්. නමුත් මේ ස්ටියරිං ඩෑම්පරය හරහා මේ දේ සිදු වීම වළකා ගත හැකියි.

ක්‍රියාකාරිත්වය


සරළව සඳහන් කලොත් මේ ඩෑම්පරය ක්‍රියාත්මක වෙන්නේ යතුරුපැදියක ඉදිපස Fork යුගලය වගේමයි. Fork යුගලය සිරස් අතර එන පීඩනය අවශෝෂණය කරගෙන මුදා හරිනවා සේම මේ ඩෑම්පරය මගින් හැඩලය මතට හරස් අතර යෙදෙන පීඩණය අවශෝෂණය කරගනිමින් පාලනය කර ගන්නවා.

හයිඩ්‍රොලික් පිස්ටනයක් මෙන්ම ලිහිසි තෙල් මගින් මෙහි ක්‍රියාකාරිත්වය පාලනය වන අතර ඇලුමිනියම්  පිස්ටනයක් සහ සුදු යකඩ හෝ ටයිටේනියම් රොඩ් එකක් මගින් පිස්ටනයට හැඩලය සම්බන්ධ වෙනවා.පිස්ටනය ආසන්නයේ ඇති කුඩා නොබ් එකක් වැනි කොටසින් ඩෑම්පරය තද කර ගැනීම හෝ බුරුල් කර ගැනීම කල හැකියි. උපරිමය තද කලහොත් හැඩලය සෙලවීමට වත් බැරි මට්ටමකට එන අතර දෙකටම මධ්‍යස්ථව ඔබට ගැලපෙන මට්ටමට සකසා ගැටීමට මට්ටම් 18 හෝ ඊට අඩුවෙන් සිටියරිං ඩෑම්පරයේ සීරූ මාරු කිරීමට (Adjust)  හැකියාව පවතිනවා.


වර්තමානයේ වැඩි වශයෙන් ඉලෙට්‍රොනික ස්ටියරිං ඩෑම්පර් භාවිතා වන අතර මෙය කෙලින්ම යතුරුපැදියෙහි ECU එකට සම්බන්ධ වනවා. යතුරුපැදිය ගමන් කරනා වේගය සහ රයිඩින් මොඩ් එක අනුව ස්වයංක්‍රීයව ඩෑම්පරයේ තද බව සහ බුරුල් බව සැකසා ගැනීමට මෙයට හැකියාව පවතිනවා.

ස්ටියරිං ඩෑම්පර් වර්ග සහ යොදා ගන්නා යතුරුපැදි


හැඩලය අතර හෝ ට්‍රිපල් ක්ලැම්ප් එක ආසන්නයේ බොහෝ විට මේ ඩෑම්පරය පිහිටන අතර සමහරෙක් යතුරුපැදි වල ෆෝක් යුගලය සහ චැසිය අතර මෙය පිහිටා තිබෙනවා. ඔහිලින්ස්, KYB, Showa වැනි Suspension නිශ්පාදකයන් ද GPR වැනි සන්නාමයන් ද ස්ටියරිං ඩෑම්පර් සඳහා නම් දරා සිටිනා අතර බොහෝ යතුරුපැදි නිශ්පාදකයන් ඔහිලින්ස් සහ ශෝවා ස්ටියරිං ඩෑම්පර් OEM (original equipment manufacture) අංගයක් ලෙසට යතුරුපැදියට එක් කරනවා.

වර්තමානයේ සියලුම සුපර් ස්පොර්ට් යතුරුපැදි එනම් 600-800 දක්වා සහ Super Bikes එනම් 1000 යතුරුපැදි වල කර්මාන්තශාලා වලින්ම ස්ටියරිං ඩෑම්පර් සවි කර එවනු ලබනවා. ඒ යතුරුපැදියෙහි ස්ථාවර භාවය වැඩි කිරිමට සහ ධාවකයා හට වැඩි ආරක්ෂාවක් ලබා දීමටයි. මෙම 600 සහ 1000 sports සහ naked යතුරුපැදි අශ්වබල 100 ඉක්මවන වේගවත් යතුරුපැදි මෙන්ම රෝද අතර දුර (wheelbase ) අඩු යතුරුපැදි නිසා අනතුරු වීමට ඇඩි ඉඩ වැඩියි. මේ නිසා පෙර ස්ටියරිං ඩෑම්පර් අඩංගු නොවු පැරණි මාදිලි වල යතුරුපැදි වලටත් යතුරුපැදි උපාංගයක් ලෙසට මේ ස්ටියරිං ඩෑම්පර් භාවිතා කරනවා. මීට අමතරව Supermoto සහ Enduro යතුරුපැදි මෙන්ම Adventure යතුරුපැදිද මේ ස්‍ටියරිං ස්ටේබලයිසර් භාවිතා කරනවා.

ඔබේ යතුරුපැදියටත් Steering Damper එකක් අවශ්‍ය ද?

එය ඔබේ යතුරුපැදිය අනුව තීරණය වෙනවා. අශ්වබල 30ක් වත් ඉක්මවන්නෙ නැත්නම් ඔබ පැයට කිලෝමීටර් 100 ඉක්මවා ධාවනය කරන්නේද නැති නම් ස්ටියරිං ඩෑම්පරය යනු අත්‍යාවශ්‍ය අංගයක් නොවෙයි. නමුත් වර්තමානයේ 250cc , 300cc වැනි ධාරිතාවයන් වල යතුරුපැදි පවා යතුරුපැදියට පෙනුමක් එක් කරගැනීමට සහ වැඩි ස්ථාවරභාවයක් එක් කර ගැනීමට ස්ටියරිං ඩෑම්පර් භාවිතා කරනවා.

ස්ටියරිං ඩෑම්පරයක් යොදාගැනීමේ ආවාසි


ස්ටියරිං ඩෑම්පර් එකක් එක් කිරීමෙන් තරමක් හැඩලයට තද බවක් එක් උනත් නිසි ආකාරය හැඩලය හැසිරවීමට හුරු විමෙන් පසුව මෙය ගැටලුවක් වන්නේ නැහැ. එමෙන්ම යම් කාලසීමාවකට පසු Fork යුහලය මෙන්ම මේ ස්‍ටියරිං ඩෑම්පරය ද නඩත්තු කල යුතු වෙනවා එසේ නැතිනම් දෝශ හට ගැනීමට ඉඩ පවතිනවා. ඒ හැරුණකොට මෙහි වාසි මිස අවාසියක් නම් නැති තරම්.


සරළව මේ Steering Damper එහෙමත් නැත්නම් Steering Stabilizer ගැන සටහන් කරන්න තිබෙන්නේ මෙපමණයි. අපහැදිලි දෙයක් හෝ වැඩිදුරටත් යම් දෙයක් දැනගන්න අවශ්‍ය නම් අපේ ෆේස්බුක් පිටුවට මැසෙජ් එකක් දාන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©




No comments:

Post a Comment