ඉතාලි මෘගයා Ducati Monster 821 ගැන සිංහලෙන්ම - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Sunday, July 5, 2020

ඉතාලි මෘගයා Ducati Monster 821 ගැන සිංහලෙන්ම



අද  මාතෘකාව වෙන්නේ ඉතාලියේ Ducati යතුරුපැදි සමාගමේ නොමැකෙන යතුරුපැදියක් වන Ducati Monster යතුරුපැදිය ගැනයි. මේ යතුරුපැදිය පුරා වසර 27කට අධ්ක කාලයක් ඩුකාටි විසින් නිශ්පාදනය කල අතර ලොව පුරා යතුරුපැදි 400,000 අධිකව අලෙවි කර තිබෙනවා. එමෙන්ම මෙය ඩුකාටි සමාගම බේරා ගත් යතුරුපැදිය ලෙසටද සැලකෙන අතර මෙයට හේතුව වන්නේ අනෙකුත් ඩුකාටි යතුරුපැදි වලට සාපේක්ෂව අඩු මුදලකට නිශ්පාදනය කිරීමට හැකි වීම මෙන්ම 400cc සිට 1200 දක්වා පරාසයක විහිදෙන Monster යතුරුපැදි මාදිලි ගණනාවක් මේ වසර 27 තුල නිෂ්පාදනය වීමයි. ගෙවි ගිය වසර 27 තුල බොහෝ විට වසරකට අලෙවි කරනා මුළු ඩුකාටි යතුරුපැදි  සියල්ල අතුරින් හරි අඩකට වඩා යතුරුපැදි අලෙවියක් මේ මොන්ස්ටර් යතුරුපැදි මාදිලියෙන් පුරවා ගැනිමට ඩුකාටි හට හැකිවි තිබෙනවා.

ඉතිහාසය

1993 වසරේදි මුල් වරට කරළියට එන Ducati Monster යතුරුපැදිය  Miguel Angel Galluzzi විසින් නිර්මාණය කරන ලදි. මොහුගේ තවත් ජනප්‍රිය යතුරුපැදි නිර්මාණයක් වන්නේ Aprilia Dorsadoro යතුරුපැදියයි.ප්‍රථම මොන්ස්ටර් යතුරුපැදි ලෙසට M900 1993 ද M750 1996 ද 1999 දී M600 ද නිකුත් උනි.මීට අමතරව 1994 දී M400 ලෙසට 400cc යතුරුපැදියක්ද නිකුත් කෙරුනි.

පසුව 2000 දී Monster S4 ද 2003 දී Monster S4R ද 2005 දි S4RS Testastretta හඳුන්වා දුන් අතර Limited Edition යතුරුපැදියක් ද නිශ්පාදනය කෙරුනි. තවද S2R 800 සහ S2R 1000 යන නම් වලින් තවත් යතුරුපැදි 2ක් ද 2006 දි M620 නමින් තවත් යතුරුපැදියක් ද හඳුන්වා දෙනු ලැබිය. 2007 දී Monster 695 ද 2008 දි 696 සහ 1100 ද නිෂ්පාදනය කරන ලදි.

2010 දී Hypermotard 796 මත පදනම් වූ එන්ජිමකින් එන Monster 796 ද එම වසරේම Monster 1100 Evo ද එලි දැක්වු ඩුකාටි 2011 දී 795 ද 2014 දී 796 වෙනුවට 821 ද 2016 දී 797 සහ 1100R ද 2019 දි 821 Stealth Edition ද නිශ්පාදනය කරන ලදි.

අද ලිපියෙන් මේ යතුරුපැදි සියල්ල අතුරින්ම ජනප්‍රියම යතුරුපැදියක් වන Monster 821 යතුරුපැදිය ගැන වැඩි වශයෙන් සටහන් කිරීමට බලාපොරොත්තු වන අතර මෙය Monster 1200 හී ඉලෙට්‍රොනික පද්ධතියෙන් සහ Hypermotard 821 හි එන්ජිමෙන් බල ගන්වා ඇත.

එන්ජිම

821cc Testastretta 11° L-twin එන්ජිමකින් එන මේ යතුරුපැදිය ඩුකාටි සමාගමේ නොමැකෙන තාක්ෂණයක් වන Desmodromic Valve 8කින් සමන්විත වනවා. එක් සිලින්ඩර එකකට වෑල්ව 4 බැඟින් වෑල්ව 8ක් මෙම එන්ජිමට එක් කර ඇති අතර අශ්වබල 112ක් 9250RPM හී ජණනය කර දෙනවා. පැයට කිලෝමීටර් 230 ඉක්මවන වේගයක් මේ මොන්ස්ටර් යතුරුපැදිය සතුයි.

ඩුකාටි සමාගම 1956 පසුව එන සෑම යතුරුපැදියකට ස්ප්‍රින් මගින් ක්‍රියාත්මක වන වෑල්ව වෙනුවට රොකර් ආර්ම්ස් මගින් ක්‍රියාකාරිත්මක වන වෑල්ව යොදාගන්න අතර මෙය ඩෙස්මො ඩ්‍රොමික් (ග්‍රීක භාශාවෙන් පාලනය වන පථය) වෑල්ව නමින් හඳුන්වනවා. 50 දශකයේ සියලුම යතුරුපැදි වල වෑල්ව ස්ප්‍රින් මගින් ක්‍රියාත්මක වු අතර මේවා 10,000rpm වලින් ඉහල අවස්ථා වල කැඩි යාමට හෝ එන්ජිම හිර වීමට හේතු උනා. මෙම තත්වය මගහරවා ගැනීමට ඩුකාටි මේ ඩෙස්මො වෑල්ව යොදාගත් අතර මෙය සාර්ථක විය. වර්තමානයේ ඩුකාටි හැර අනෙකුත් යතුරුපැදි ස්ප්‍රින් ලෝඩඩ් වෑල්ව භාවිතා කලත් තවමත් ඩුකාටි භාවිතා කරන්නෙ තම සියලුම යතුරුපැදි සඳහා ඩෙස්මොඩ්‍රොමික් වෑල්ව පමණයි.

වර්තමානයේ ස්ප්‍රින් ලොඩඩ් වෑල්ව එකලට වඩා හොඳින් ක්‍රියාත්මක උනත් ඩුකාටි ඩෙස්මො වෑල්ව භාවිතා කරන්නේ එය ඔවුන්ගේ සන්නාමයක් මෙන් නිසා සහ ඔවුන් ප්‍රගුණ කල ඇති තාක්ෂණයක් වන නිසා බවට ඩුකාටි හී ප්‍රධානියෙක් පවා පවසා ඇත. නමුත් නෝර්ටන් යතුරුපැදි සමාගම ඩුකාටි සමාගමට පෙර ඩෙස්මො වෑල්ව අත්හදා බැලු නමුත් එය මහා පරිමානයෙන් යතුරුපැදි නිශ්පාදනයට එක් කිරීමට අපොහසත් විය.

සිසිලන පද්ධතිය


Hypermotard 821 හී එන්ජිමෙන් බල ගැන්වෙන මේ මොන්ස්ටර් යතුරුපැදියට ද්‍රව සිසිලන පද්ධතියක් යොදාගෙන ඇති නමුත් හයිපර්මෝටර්ඩ් හී එන ඔයිල් සිසිලන පද්ධතිය මේ මොන්ස්ටර් හට එක් කර නෑ. කෙසේ වෙතත් ජපන් යතුරුපැදි වලට වඩා වැඩි උෂ්ණත්වයක් මේ L එන්ජින් වලින් පිට කරන අතර එය යතුරුපැදිය ධාවනය කරනා විට ධාවකයාගේ පාද වලට ද දැනෙයි.

ඩුකාටි 90 හා 80 දශක වල ද්‍රව සිසිලන පද්ධතියක් වෙනුවට වායු සිසිලන පද්ධතියක් තම යතුරුපැදි වලට භාවිතා කල අතර එකල අනෙකුත් යතුරුපැදි වලට සාපේක්ෂව වඩා ඉක්මනින් නඩත්තු වාර කරගැනීමට සිදු විය එමෙන්ම එය අනෙකුත් යතුරුපැදි වලට සාපේක්ෂව පිරිවැය අධික විය. නමුත් මේ ද්‍රව සිසිලන පද්ධති එක් වීම සමඟ ජපන් යතුරුපැදි වලට වඩා වැඩි කිලෝමීටර් ගණනක් නඩත්තු සේවා වාර අතර ඇති විය. සාමාන්‍යයෙන් නව ඩුකාටි එන්ජිමක සාමාන්‍යය සේවා වාරයක් කිලෝමීටර් 10,000-15,000 අතර ද වෑල්ව සැකසීමක් කිලෝමීටර්  25,000 - 30,000 අතර සිදු කර ගැනීමට හැකියාව ලැබී ඇත.

ගියර් පද්ධතිය


වේග 6කින් එන ගියර් පද්ධතියක් සහ APTC Slipper Clutch එකක් මෙම යතුරුපැදියට එකතු කර ඇති නිසා ඉතාම සුමට ලෙස ගියර් සිරවීමකින් තොරව ඉහල පහල මාරු කර ගත හැකියි. මෙහි OME කොටසක් ලෙසට Quick Shifter එකක් ඇතුලත් නොවුනත් After Market Accessory එකක් ලෙසට Quick Shifter එකක් යොදාගත හැකියි. මෙමගින් ක්ලච් එක භාවිතා නොකර ගියර් මාරු කර ගැනීමේ හැකියාව ලැබෙනවා.

ඉලෙට්‍රොනික පැකේජය සහ මීටර් එක


Ducati Safety පැකේජය මේ යතුරුපැදියට ඇතුලත් කර තිබෙනවා. මෙහි ABS Modes, මට්ටම් 8ක Traction Control සහ Riding Modes 3 ඇතුලත් වෙනවා. මෙය Sports, Touring සහ Urban ලෙසට වෙන් කර ඇති අතර පිලිවෙලින් අශ්වබල 112, 90 සහ 70 ලෙසට අදාල රයිඩින් මොඩ්ස් වලදි එන්ජිමෙන් බලය ලබා දෙනවා. එමෙන්ම ඒ ඒ මොඩ්ස් වලට ගැලපෙන පරිදි ABS සහ Traction Control මට්ටම් සකස ගන්නවා. එමෙන්ම මෙහි Throttle එක බොහෝ නවීන යතුරුපැදි සේම කේබල් වලින් ක්‍රියාත්මක නොවි Ride By Wire තාක්ෂණයෙන් ක්‍රියාත්මකව වනවා.

මීටර් එක දෙසට අවධානය යොමු කලොත් 2014 සිට 2017 දක්වා ඩිජිටල් මීටර් එකක් ද 2017 පසුව TFT Color Display එකක් ද ලබා දි තිබෙනවා. මෙහි යතුරුපැදිය ධාවනයට අවශ්‍ය සියලුම තොරතුරු පැහැදිලිව පෙන්නුම් කරන අතර බ්ලුටූත් හරහා ජංගම දුරකථනය සම්බන්ධ කර ගැනීමටත් ඉඩ සලසා දෙනවා.

Design

මේ යතුරුපැදිය මොන්ස්ටර් යතුරුපැදි වලට ආවේණික පෙනුමෙන් වැඩි වශයෙන් වෙනස් නොවී ඇති අතර ඕවලාකාර හෙඩ් ලයිට් එක පිරිපුන් ලීටර 17.5ක ඉන්ධන ටැංකිය සුවපහසු අඩු උසක් සහිත ආසනය මෙන්ම ට්‍රෙලිස් චැසිය වැන් අංග වලින් මේ යතුරුපැදිය දෙනෙත් වසා අතගා බලා හෝ මොන්ස්ටර් යතුරුපැදියක් බව කීමට හැකියාව ඇත.

මෙහි බර කිලෝග්‍රැම් 206ක් ද සීට් උස අඟල් 32ක් ද වනවා. මෙය සිට් උසින් අඩු මෙන්ම හැසිරවීමට ඉතාම පහසු යුරෝපිය යතුරුපැදියක් වන නිසා කාන්තාවන් අතර ද Monster යතුරුපැදි මාදිලි බොහෝ සෙයින් ජනප්‍රියයි.

Suspension, Brakes සහ Tyres


මෙහි සස්පෙන්ශන් ලෙසට ඉදිපස 43mm Non Adjustable Forks යුගලයක් ද පසුපස Fully Adjustable Monosock එකක් ද යොදාගෙන ඇති අතර Brembo monobloc M4-32 radial කැලිපර දෙකක් සහ 320mm ඩිස්ක් දෙකකින් ඉදිපස තිරිංග ද පසුපස Brembo පිස්ටන් 2ක කැලිපරයක් සමඟ 240mm ඩිස්ක් එකක් ද යොදාගෙන ඇති අතර Bocsh 9MP ABS තාක්ෂණයෙන් ඉදිපස සහ පසුපස බ්‍රේක් පද්ධතිය බලගන්වා තිබෙනවා.


ටයර් වශයෙන් ඉදිපස 120/70 ද පසුපස 180/55 ද ප්‍රමාණයෙන් ටයර් යොදාගෙන ඇති අතර කර්මාන්තශාලාවෙන් යොදාගෙන ඇත්තේ Pirelli Diablo Rosso 3 ටයර් යුගලයකි. මෙය මාර්ගය මෙන්ම රේසිං පථයට ද එක සේ ගැලපෙන මිල අධික ටයර් වර්ගයකි.

සාරාංශය


වසර 27ක් පුරාවට නිශ්පාදනය කල සියලුම මොන්ස්ටර් යතුරුපැදි ගැන එක ලිපියකින් සටහන් කිරීම අපහසු නිසා ඒ අතුරින් ජනප්‍රියම සහ තවමත් නිශ්පාදනය වන Monster යතුරුපැදියක් ගැන ලිපියෙහි සටහන් කලෙමි. වර්තමානයේ මොන්ස්ටර් පරම්පරාවේ තවමත් නිශ්පාදනය වන යතුරුපැදි ලෙසට 797,821, 821 Stealth Edition, 1200 සහ 1200S පෙන්වා දිය හැකියි.

තවද මේ යතුරුපැදිය සමඟ තරඟයට KTM Duke.790, Duke 890R, Yamaha MT-09, Kawasaki Z800, Z900, Triumph Steet Triple 765 RS වැනි යතුරුපැදි සිටිනවා.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©



No comments:

Post a Comment