බෝර් කෙරුවාව ගැන හැමදේම සිංහලෙන් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, February 8, 2022

බෝර් කෙරුවාව ගැන හැමදේම සිංහලෙන්


Click here to read this post in English



බොහෝ දෙනෙකුට තියෙන ගැටලුවක් ගැන අද Blog මාතෘකාව විදියට තෝරගන්න SL Wandi අපි තීරණය කලා. අද අපි කතා කරමු මොකද්ද මේ Bore කෙරුවාව? කොහොමද බෝර් කරන්නේ? ඇයි බෝර් කරන්නේ? කොච්චර වියදමක් යනවද වගේ කාරණා ගැන...

මොකද්ද බෝර් කරනවා කියන්නේ ?



මුලින්ම මේ බෝර් එක කියන්නෙ මොකද්ද කියල අපි හඳුනා ගමු. Automobile විෂය යටතේ Piston Block එක විදියට හඳුන්වන සාමාන්‍ය කටවහරට එනකොට බෝර් එක විදියට හදුන්වට කොටස තුල තමයි එන්ජිමක පිස්ටන් එක උඩ පහලට ගමන් කරන්නේ.  මේ ඉහල පහල යෑමත් වැඩි වීම සමඟ කාලය, නඩත්තුව සහ කිලෝමීටර් ගණන අනුව කිලෝමීටර් 40,000ත් 50,000 අතර බොහෝ දුරට ඉන්දියානු යතුරුපැදියක මෙම බෝර් කොටස ගෙවි යනවා ජපන් යතුරුපැදියක් හෝ යුරොපියානු යතුරුපැදියක් නම් මෙය මීට වඩා 3,4 ගුණයකින් කල් පැවැත්ම වැඩියි එයට හේතුව මෙම යතුරුපැදි වලට ඉන්දියානු යතුරුපැදි වල ඇති අමුද්‍රවය වලට  වඩා ඉතාම ගුණාත්මක අමුද්‍රවය යොදාගෙන එන්ජින් සහ අමතර කොටස් නිපදවීමයි.

මෙම බෝර් කොටස ගෙවී යෑමත් සමඟ පිස්ටන් මුදු අතුරින් එන්ජින් හෙඩ් එක මතට එන්ජින් ඔයිල් ගමන් කිරීමට පටන් ගන්නවා මේ තත්වය සමඟ ඉන්ධන සමඟ මිශ්‍ර වී එන්ජින් ඔයිල් ද දහනය වෙනවා පසුව කලු දුම දැමීම ආරම්භ වනවා.තවද පිස්ටන් එක සහ සිලින්ඩර් බ්ලොක් එක එනම් බෝර් එක අතර ඉතා සියුම් හිඩස් ඇති නිසා එන්ජිම ක්‍රියාත්මක වීමට අවශ්‍ය සම්පිණ්ඩනය (Compressor) එක අඩු වෙනවා. මේ සමඟ එන්ජිම සතු සම්පූර්ණ බලය ලබා ගැනීමට ද නොහැකි වෙනවා. තවද පුලිඟු පෙනු (Spark Plug) මත කාබන් තැම්පත් වීම නිසා ඉන්ධන දහනය ද අකාර්යක්ෂම වනවා. එමෙන්ම එන්ජින් ඔයිල් පිච්චි යෑම හෙතුවෙන් එන්ජිමෙහි සුමට ක්‍රියාවලිය අකර්මණ්‍ය වී ඇතුලත කොටස් වලට හානි විය හැකියි. මූලික වශයෙන් මෙම තත්වයන්ද තවත් ගැටළු කිහිපයක් ද බෝර් එක ගෙවී යාම නිසා ඇති වෙන අතර මේවා පිලිසකර කර ගැනීම සඳහා යලිත් පිස්ටන් බ්ලොක් එක බෝර් කිරීම (Reboring) කිරිම හෝ අලුත් පිස්ටන් බ්ලොක් එකක් තැබීම කල හැකියි.


කොහොමද බෝර් කරන්නේ?


  • මෙම ක්‍රියාවලිය සඳහා විශේෂ වූ යන්ත්‍රයක් භාවිතා කරනවා. මෙම යන්ත්‍රය මගින් මූලිකව 25, 50 සහ 75 යන මිනුම් වලට පිස්ටන් බ්ලොක් එක Rebore කල හැකියි. ඉන් පසුව මෙම නව ප්‍රමාණයට ගැලපෙන ලෙසට නව පිස්ටන් එකක් සහ පිස්ටන් රිං කට්ටකලයක් යොද ගන්නවා. සාමාන්‍යයෙන් එක් පිස්ටන් බ්ලොක් එකක් 3 වාරයක් බෝර් කල හැකි අතර එය පිලිවෙලින් 25,50,75 ලෙසට සටහන් වනවා. කෙසේ වෙතත් 50න් පසුව බෝර් කිරීම එතරම් සාර්ථක නොවන අතර නව බෝර් එකක් එන්ජිමට සවි කිරීම වඩා යෝග්‍ය වනවා.


කීයක් විතර වියදම් වේවි ද?


  • සාමාන්‍යයෙන් බොර් කිරීමක් හෝ පිස්ටන් රිං කට්ටලයක් අලුතෙන් එක් කිරීමේ සිට එන්ජින් එක Overhaul ( ඔවරෝල් ලෙසට වැරදි උච්චාරණයක් බොහෝ දෙනා සිදු කරයි) එසේ නැතිනම් සම්පූර්ණයෙන් ගලවා පලුකර සවි කිරිමක් දක්වා කොටස් 4කට මූලිකව වෙන් කරන්න පුලුවන්. මේ සඳහා දළ වශයෙන් යන වියදම සහ කාලය වැඩි වෙන පිලිවෙලින් එය සටහන් කරන්නම්.


1. යතුරුපැදියෙහි පවතින පිස්ටන් බ්ලොක් එක මතම ප්‍රමාණයෙන් ඉතාම සුලු වශයෙන් විශාල පිස්ටන් කට්ටලයක් සහ මුදු කට්ටලයක් යොදා ගැනීම මගින් එන්ජිම අන්ඩර් කම්ප්‍රෙශර් වීම සහ එන්ජින් ඔයිල් දහනය වීම තාවකාලිකව පාලනය කර ගත හැකියි. නමුත් පිස්ටන් බ්ලොක් එක දැඩි වශයෙන් ගෙවී ඇත්නම් දෙවෙනි අදියරට ඔබට යෑමට සිදු වෙනවා. මෙම අලුත්වැඩියාව සඳහා ඉන්දියානු යතුරුපැදියක් නම් රුපියල් 1500 - 3500 අතර මුදලක් වැය විය හැකියි. 


2. යතුරුපැදියෙහි පවතින පිස්ටන් බ්ලොක් එකම 25ට හෝ 50ට රීබෝර් කර එයට ගැලපෙන පිස්ටන් කට්ටලයක් යොදා ගැනීම දෙවෙනි අදියරයි. නමුත් පවතින බොර් එක දෙවාරයකට වඩා කපා ඇති නම් මෙම ක්‍රමයද 100% සාර්ථක ප්‍රථිපලය ගෙන එන්නේ නැහෑ. මේ සඳහා ජපන් සිලින්ඩර 4ක 250cc යතුරුපැදියක් නම් ආසන්න වශයෙන් රුපියල් 15,000ක පමණ මුදලක් වැය වෙන අතර බොහෝ දුරට තායිවාන් පිස්ටන් කට්ටලයක් යොදාගනු ලබනවා. ඉන්දියානු යතුරුපැදියක් නම් රුපියල් 2500ත් 5000 අතර මුදලකට මෙය කරගත් හැකි අතර එන්ජින් ධාරිතාවය අනුව මිල වෙනස් වෙනවා. 


3. තෙවෙනි පියවර ලෙසට අලුතෙන්ම පිස්ටන් බ්ලොක් එක එනම් බෝර් එක, පිස්ටන් එක, පිස්ටන් රිං කට්ටලය යොදා ගැනීම සිදු කල හැකියි. මෙම අලුත්වැඩියාව 100% සාර්ථක අතර ඉක්මන් ද වනවා කෙසේ වෙතත් මේ සඳහා ඉන්දියන් යතුරුපැදියක් නම් රුපියල් 7500 සිට 15,000 ආසන්න මුදලක් වැය වෙන අතර ජපන් සිලින්ඩර 4, 250cc යතුරුපැදියක් නම් 35000කට ආසන්න මුදලක් බෝර් එක සඳහා පමණක් වැය වෙයි. මේ අදියරෙන් පසුවත් එන්ජිමෙන් අනවශ්‍ය ශබ්ද එසේ නැති නම් බෝර් එක අසාමාන්‍ය ලෙස ඉක්මනින් ගෙවී යන්නේ නම් 4 වෙනි අදියර වන Overhaul මට්ටමට යෑමට ඔබට සිදු වේ.


ඉහත සියළුම අලුත්වැඩියාවල් සඳහා වෙනනමම කාර්මිකයාගේ වැඩ කුළිය ද ඇතුලත් වනව නමුත් මෙය කාර්මිකයාගෙන් කාර්මිකයාට වෙනස් විය හැකි හෙයින් මිල ගණන් සටහන් කිරීම දෙපාර්ශවයටම කරන අසාධාරණයක් නිසා එසේ නොකර සිටිනවා.


4. මෙම අලුත්වැඩියාවට ඒමට සිදු වන්නේ බොහො දුරට ක්‍රැන්ක් ශාෆ්ට් එක, කෑම් රෙසර්, ටයිමින් චේන් හෝ වීල් වලට හානි වී ඇති අවස්තාවකදියි. එවැනි හානි සිදු වූ විට පිස්ටන් එක හරි ආකාරයට ගමන් නොකරන නිසා හෝ වෑල්ව නිසි ලෙස ක්‍රියාත්මක නොවන නිසා පිස්ටන් බ්ලොක් එකට සහ සමස්ත එන්ජිමට හානි විය හැකියි. මෙවැනි අලුත්වැඩියාවක් සඳහා ඉන්දියානු යතුරුපැදියක් නම් රුපියල් 30,000 සිට 45,000 දක්වා මුදලක් ද ජපන් යතුරුපැදියක් නම් රුපියල් 80,000 සිට 100,000 ඉක්මවන මුදලක් වැය විය හැකියි.

මෙහිදි මුලු එන්ජිමම කොටස් වලට ගලවා වෙන් කරන අතර සියලුම රේසර් (Bearing)ද ඇතුලුව අලුතෙන් එකතු කල යුතු සියලුම එන්ජිම අභ්‍යන්තර අමතර කොටස් ( වෑල්ව්, වෑල්ව් සීල්, ටයිමින් චේන්, ටයිමින් චෙන් ගයිඩ්, රොකර් ආම් වැනි ) අලුතෙන් එකතු කරනු ලබනවා. මින් පසුව එන්ජිම 80% පමණ අලුත් එන්ජිමක් ලෙසට ක්‍රියාත්මක වන අතර මෙවැනි අලුත්වැඩියාවක් කිලෝමීටර් 60,000 පමණ ඉක්මවු පසු ඉන්දියානු යතුරුපැදියකත් කිලෝමීටර් 200,000 පමණ ඉක්මවු ජපන් යතුරුපැදියකත් සිදු කිරිමට බොහො ඉඩක් පවතිනවා.


විශේෂ කරුණු




- ඉහත ක්‍රම වලට අමතරව බෝර් එකෙහි ස්ලීව් කොටස නැවත ගැසීමද සිදු කර ගත හැකි නමුත් මෙම අලුත්වැඩියාව ඉන්දියානු යතුරුපැදි වල සිදු නොවෙන තරම්ය. කෙසේ වෙතත් යම් අවස්ථා වල ජපන් යතුරුපැදි වල මෙය සිදු කරණු ලබනවා.


- එන්ජිමෙහි බෝර් එකට ඉක්මනින් හානි වීමට මූලිකම හේතුව නොගැලපෙන එන්ජින් ඔයිල් යොදා ගැනීම හෝ නිසි වෙලාවට එන්ජින් ඔයිල් මාරු නොකිරීමයි. 


- මෙවැනි අලුත්වැඩියාවක් කිරීමට පලපුරුදු කාර්මිකයෙක් ද විශ්වාසනීය සේවා ස්ථානයක් ද තෝරා ගන්න.


- අලුත්වැඩියාව සිදු කිරිමෙන් පසුව අනිවාර්යයෙන් බිලක් ද අවම වශයෙන් කිලෝමීටර් 500ක වත් වගකීමක් ඉල්ලා සිටින්න. එමෙන්ම දිගින් දිගටම එකම සේවා ස්ථානයක් පමණක් භාවිතා කරන්න.


- අලුත්වැඩියාව සිදු කිරීමේදි අනිවාර්යයෙන් අලුත් ගෑස්කට්,පැකින් සහ හෙඩ් රබර්, කෑම් කැප් යොදා ගැනීමට මතක තබාගන්න නැති නම් ඔයිල් කාන්දු විය හැකියි.


- කිලෝමීටර් 500 හෝ 750 යන තෙක් අඩු RPM එකක යතුරුපැදිය ධාවනය කරන්න. එමෙන්ම කිලෝමීටර් 1000ක්‍ යෑමට පෙර අලුත්වැඩියාවේදි එකතු කල එන්ජින් ඔයිල් එක සහ ෆිල්ටරය මාරු කරගන්න.


- පසුව සෑම කිලෝමීටර් 3000කට හෝ අවම වශයෙන් 5000කට වරක් යතුරුපැදිය සේවා වාරයකට ( Service ) එකකට යොමු කරන්න.


- සේවාව අවසන් කර යන විට අදාල අලුත්වැඩියාව සිදු කල කාර්මිකයා හට සන්තෝසමක් ( Tip )  දි යෑමට අමතක නොකරන්න. 


මේ ලිපියෙන් බෝර් කිරීම ගැන මූලික අදහසක් ඔබ ලබාගන්න ඇතැයි අප සිතනවා. වැඩි විස්තරයක් දැන ගැනීමට ඇත්නම් අපේ ෆේස්බුක් ගිණුමට හෝ +94 70 1764 717 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කරන්න.


කරුණාකර කතෘ අයිතිය සුරකින්න.


Wandi - වණ්ඩ්©

No comments:

Post a Comment