ලෙඩක් ද? නඩුවක් ද? Kawasaki D Tracker 250 X ? - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Monday, April 27, 2020

ලෙඩක් ද? නඩුවක් ද? Kawasaki D Tracker 250 X ?



පෝස්ට් එක ලියන අද 2020.04.27 උදේ වරුව වෙනකොට කොරෝණා රෝගී 523ක් වාර්තා වෙන අතර මේ පෝස්ට් එක අප්ලොඩ් කරන හවස් වරුව වෙනකොට එය 567 දක්වා වැඩි උනා ඉතින් ඒ නිසා මේ පෝස්ට් එක කියවන කෙනෙක් ඉන්නවා නම් කාරුණික ඉල්ලනවා සමාජ දුරස්ථභාවය, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්න කියලා ඒ වගෙම පුලුවන් තරන් නිවසටම වෙලා ඉන්න බලන්න. මේ පවතින තත්වය පහව යනකම් අපිටත් Video එකක් වත් කරගන්න කිසිම අවස්තාවක් නැති බවත් කණගාටුවෙන් උනත් කියන්න වෙනවා.

අද මාතෘකාව වෙන්නේ ලංකාවේ යතුරුපැදි අතර තරමක් අවතක්සේරුවට ලක් කල Kawasaki KLX 250 D Tracker X එහෙමත් නැත්නම් Tracker EFI යතුරුපැදිය.

ඉතිහාසය


1998 දී අපි කවුරුත් දන්න Kawasaki KLX 250 D Tracker D1 යතුරුපැදිය නිශ්පාදකය කිරීමෙන් පසුව 2004 දී D2 යතුරුපැදිය නිශ්පාදනය වෙනවා ඉන් පසුව වසර 3කට පසුව D2 යතුරුපැදිය නිශ්පාදනය නතර කර දමන Kawasaki සමාගම 2008 සිට Kawasaki D Tracker X යතුරුපැදිය සම්පුර්ණයෙන්ම අලුත් යතුරුපැදියක් ලෙසට කරළියට රැගෙන එනවා. මේ යතුරුපැදියදි D2 යතුරුපැදිය මෙන් තායිලන්තයේ ද මීට අමතරව උතුරු ඇමරිකාව සහ ඔස්ට්‍රේලියාව යන රටවල් වලද නිශ්පාදනය කරන අතර LX250V යන ෆ්‍රේම් කේතය යොදාගන්නා ලදි.

එන්ජිම 



249cc DOHC තනි සිලින්ඩර වෑල්ව 4කින් සමන්විත මේ එන්ජිම D Tracker D2 එන්ජින් ධාරිතාවයෙන්ම සහ ප්‍රමාණයෙන්ම යුක්ත උනත් අශ්වබල 25කට ආසන්න බලයක් පමණයි ජණනය කරන්නෙ. D2 සහ D1 යතුරුපැදි අශ්වබල 29ක බලයක් පෙරදී ජණනය කරනු ලැබුවා. ඒ වගේම මෙහි උපරිම Torque එක නිව්ටන් මීටර 21ක් වන අතර D2 එන්ජින් සහිත Tracker යතුරුපැදිය නිව්ටන් මීටර 25ක Torque එකක් ලබා දෙනු ලැබුවා. මේ අනුව ඇඟට දැනෙන පිකප් එකක සහ 0-100 වේගය ගැනීමෙන් පැහැදිලි වෙනසක් D2 සහ X අතර දැකගත හැකියි. මේ යතුරුපැදිය මෙරට බොහෝ දෙනා අතර අවතක්සේරුවට ලක් වීමට ප්‍රධාන හේතුවද මෙයයි.

කෙසේ වෙතත් මේ යතුරුපැදියට D2 යතුරුපැදියට සාපේක්ෂව වැඩි උපරිම වේගයක් ලබා ගත හැකියි. සාමාන්‍යයෙන් පැයට කිලෝමීටර් 150ක වේගය පසු කල හැකි Tracker X යතුරුපැදියක වේග සීමාව ඉවත් කලහොත් පැයට කිලෝමීටර් 170ක වේගය පසු කල හැකියි. මේ බලය සහ ටෝර්ක් එක අඩු වීමට මෙන්ම Top End Performance වැඩි වීමට හා ඉතාම සුමට ධාවනයකට ඉඩ සැලසීමට හේතුව D2 හී එන කාබ් එන්ජිම වෙනුවට Tracker X හී Digital Fuel Injection තාක්ෂණය යොදා ගැනීමයි.

ඉන්ධන සැපයුම සහ සිසිලන පද්ධතිය


Keihin DFI ( Digital Fuel Injection )  තාක්ෂණයෙන් ඉන්ධන සැපයුම සිදු වෙන මේ Tracker X යතුරුපැදි වල පෙර Tracker D1 සහ D2 මාදිලි වලට වඩා නඩත්තුව අවම සහ සාපේක්ෂව තරමක් ඉන්ධන පිරිමැස්ම වැඩිය, D2 යතුරුපැදි වලට වඩා දෙදරීම සහ ශබ්දය ද අවමයි. පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 30ත් 40ත් අතර දුරක් ගමන් කිරීමටත් අවස්ථාව ලැබෙනවා. නමුත් අමතර කොටස් සාපේක්ෂව තරමක් මිල අධිකයි.

D2 සහ තවත් බොහොමයක් Supermoto සහ 250cc යතුරුපැදි වල මෙන් D Tracker X යතුරුපැදිය ද ද්‍රව සිසිලන පද්ධතියක් මේ යතුරුපැදියට එකතු කර තිබෙනවා. මේ නිසා  එන්ජිම ඉතා ඉක්මනින් සිසිල් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා.

Gears සහ Clutch


වේග 6ක ගියර් පද්ධතියක් මේ යතුරුපැදියට යොදාගෙන ඇති අතර මෙහි වේග සීමාවන් ගියර් එකෙන් ගියර් එක අතර RPM අතර යොදා ඇති බවටයි සඳහන් වෙන්නේ. මේ වේග සීමාව ඉවත් කල පසු සෑම ගියර් එකකම පැයට කිලෝමීටර් 5ක පමණ වේගයක වැඩි වීමක් දැක ගත හැකි අතර සුමට Wet Multiplate Clutch එකකින් සමන්විතයි.

Design


99%ක්ම D Tracker D2 යතුරුපැදියෙන් වෙනස් වන මේ යතුරුපැදියට නව Tubular Semi-double cradle ෆ්‍රේම් එකක්, නවතම ඇලුමිනියම් ස්වින්ග් ආම් එකක්,නව KYB සස්පෙන්ශන්, නවතම ඉලෙට්‍රොනික පද්ධතියක්, ෆෙයාරින් කිට් එකක් මෙන්ම මීටර් එකක් ද යොදාගෙන තිබෙනවා.

ලීටර 7.7ක ඉන්ධන ටැංකියන් සමන්විත මේ ට්‍රැකර් X යතුරුපැදියෙහි සීට් එකේ සිට පොලවට උස එනම් Seat Height 860mm එනම් අඟල් 33.9ක් ලෙසද Ground Clearance  225mm එනම් අඟල් 8.8 ලෙසට ද සඳහන් වන අතර බර කිලෝග්‍රැම් 137 ලෙසට සටහන් වෙනවා, D2 යතුරුපැදියට වඩා මේ යතුරුපැදිය කිලෝග්‍රැම් 9කින් බරින් වැඩියි.

යතුරුපැදිය හසුරුවා ගැනීම ගැන සටහන් කලොත් බොහෝමයක් සුපර්මොටො යතුරුපැදි මෙන්ම මේ යතුරුපැදියද උසින් අඩු අයෙකුට හුරුවක් නොමැතිව හසුරුවා ගැනීමේදි තරමක අපහසුවක් දැනෙනවා නමුත් මේ යතුරුපැදිය D2 සහ තවත් SM යතුරුපැදි ගණනාවකට වඩා උසින් තරමක් අඩුයි. තවද ඕනෑම මාර්ගය ඉතාම සුවපහසුව ධාවනයකට මේ Tracker X යතුරුපැදිය ඉඩ සලනවා.

මීටර් එක


D2 යතුරුපැදිය සහ බොහෝ සුපර්මොටො යතුරුපැදි වල වේගය සහ ට්‍රිප් මීටරයක් පමණක් අඩංගු උනද මේ ට්‍රැකර් X යතුරුපැදිය සඳහා තරමක් ප්‍රමාණයෙන් ව්ශාල විස්තරාත්මක මීටර් එකක් යොදාගෙන තිබෙනවා. මෙහි වේගයට අමතරව බොහෝමයක් SM යතුරුපැදි වල දැකගැනීමට නොලැබෙන RPM මීටර් එක ද අඩංගු වෙනවා. කෙසේ උනත් මෙහි Fuel Gauge එකක් නම් අඩංගු වන්නේ නැහැ. මෙය බොහෝ SM යතුරුපැදි වලට ආවේනික  දෙයක් නිසා අත්දැකීමත් සමඟ ටැංකියේ ඇති ඉන්ධන අනුමාන කර ගැනීමට පුලුවන්කම ලැබෙනු ඇත.

Suspension


මේ යතුරුපැදියටත් පෙර මාදිලියේ මෙන්ම Kayaba එසේ නැත්නම් KYB Suspension යොදාගෙන ඇති අතර ඉදිපස අඟල් 43ක Up side down ෆෝක් යුගලයක් ද පසුපස Mono suspension ද යොදාගෙන තිබෙනවා. මේ නිසා සුවපහසුව ඕනෑම මාර්ගයක ගමන් කිරීමට SM යතුරුපැදියක ඇති හැකියාවට දැඩි උපකාරයක් ලැබී තිබෙනවා.

Brakes

මේ යතුරුපැදියේ තිරිංග පද්ධතිය පෙර මාදිලියටත් වඩා ආරක්ෂාකාරී සහ කාර්යයක්ෂම වන බව සඳහන් කල යුතුමයි. මේ ට්‍රැකර් X යතුරුපැදියේ ඉදිපසට 300mm Petal Disk එකක් සමඟ පිස්ටන් දෙකක කැලිපරයක් ද පසුපසට 240mm Petal Disk එකක් සමඟ තනි පිස්ටන් කැලිපරයක්ද යොදාගෙන ඇත. පෙර මාදිලියට වඩා ප්‍රමාණයෙන් විශාල මේ ඩිස්ක් පෙටල් ඩිස්ක් එනම් මල් ඩිස්ක් ලෙස නිර්මාණය කර ඇති නිසා ඉතා ඉක්මනින් ඩිස්ක් එක මතින් තාපය සහ ජලය ඉවත් වන නිසා වඩා ආරක්ෂාකාරී වේ.

Tyres

ඉදිපස 110/70-17 සහ පසුපස 130/70-17 ටයර් යොදාගෙන ඇති අතර අවශ්‍යතාව අනුව තරමක් ප්‍රමාණයෙන් පුළුල් ටයර් මේ රිම් යුගලයට යොදාගත හැකියි.කෙසේ වෙතත් මේ 130 සහ 110 ටයර් මේ යතුරුපැදියට හොඳටම ප්‍රමාණවත්.

අමතර සටහන්


මේ යතුරුපැදිය තාක්ෂණයෙන් සහ පෙනුමෙන් පෙර මාදිලි වූ D1 සහ D2 යතුරුපැදි දෙකටම වඩා ඉදිරියෙන් සිටියත් යම් යම් හේතු නිසා තවමත් ඉල්ලුම සහ ජනප්‍රියත්වය අතින් පසුපසින් සිට්න්නේ. මේ අතුරින් ප්‍රධානම හේතු ලෙස සාපේක්ෂව අඩු පිකප් එකක් තිබීම ට්‍රැකර් X යතුරුපැදිය තායිලන්තයේ යතුරුපැදියක් ලෙසට ලේබල් වැදි ඇති වැරදි ආකල්පය මෙන්ම යම් අමතර කොටස් වල මෙරට හිඟය සහ නිසියාකාරව නඩත්තු කර ගැනිමට අපොහොසත් වීම, නිසි කාර්මික දැනුම නොමැති කාර්මිකශිල්පින් යොදාගෙන නඩත්තු කටයුතු කිරිම වැනි කාරණා පෙන්වා දිය හැකියි.නමුත් සැබැවින්ම මේ යතුරුපැදිය හොඳ යතුරුපැදියකි නඩත්තුව සහ භාවිතය අනුව එහි ගුණ අගුණ තීරණය වෙන බවත් සඳහන් කල යුතුයි. මෙහි මෙරට මිල රුපියල් ලක්ශ 5ත් 6.50 අතර අගයක පවතිනවා.

ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න. 

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©







No comments:

Post a Comment