KTM Duke 125 ඇයි ඔයා මෙච්චර ගණන්? - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Wednesday, January 30, 2019

KTM Duke 125 ඇයි ඔයා මෙච්චර ගණන්?


අද මාතෘකාව විදියට ලොකු ඉල්ලීමක් උන මීට මාසයකට පමණ පෙර ඉන්දියාවේදි නිකුත් උන ඉදිරියේදී මෙරට වෙලඳපොලට ද පැමිණීමට නියමිත KTM Duke 125 ගැන කතා කරන්න තීරණය කලා.මෙම යතුරුපැදිය මෙරට බොහෝ අයට ආගන්තුක උනත් මීට වසර කිහිපයකට පෙර සිටම ඉතාලිය, ජපානය, ඔස්ට්‍රේලියාව, ඔස්ට්‍රියාව වැනි රට වලින් තනි තනිව ආනයන කල යතුරුපැදි මෙරට දැකගැනීමට ලැබුනා.

ප්‍රථමයෙන් මේ යතුරුපැදිය ගැන කෙටි හැඳින්වීමක් කලොත් මේ Duke 125 උපත සිදු වෙන්නේ 2011 වසරේදී යුරෝපය,උතුරු හා දකුණු ඇමරිකා යන මහද්වීප වල රටවල් වල A2 රියදුරු බලපත්‍ර හිමි පාසල් වයස් වල තරුණයින්  ඉල්ලක්ක කරගෙනය. ඉන්දියාව ප්‍රමුඛ දකුණු ආසියාවේ රටවල් වලට මෙකි 125 යතුරුපැදිය මහ පරිමාණයෙන් අපනයනය නොවුනු අතර මීට හේතුව එකල වූ 150cc හා සමහරෙක් 200cc ඉන්දියානු යතුරුපැදි වලට වඩා ද මෙම යතුරුපැදිය මිල අධික වීමයි.

තවද දකුණු ආසියාවේ මෙන් නොව යුරෝපානු රට වල අඩු ධාරිතාවයෙ එන්ජින් සහිත 125,150 කාණ්ඩයේ යතුරුපැදි ද EFI, ABS,USD Inverted Forks වැනි අංග අනිවාර්යයෙන් එකතු කොට ඉන්දියානු යතුරුපැදි වලට සාපේක්ෂව වැඩි තාක්ෂණයක් හා ගුණාත්මක බවින් ඉහල අමු දෘව්‍ය යොදා ගනිමින් නිපදවිම සිදු වුන අතර එකලැස් කිරිමේ කටයුතු, තායිලන්තය, ඉන්දුනීසියාව, ආජන්ටිනාව වැනි රට වල සිදු කෙරුණු ලැබුවා.

මෙසේ සාර්ථකව වසර 5ක් තරුණ ප්‍රජාවගේ හිත දිනාගත් Baby Duke නොහොත් KTM Duke 125, 2017 වසරේ දි 125 යතුරුපැදි අතර පෙරළියක් ඇති කිරීමට සමත් වනවා.ඒ  KTM සතු හොඳම Naked යතුරුපැදිය වන KTM Super Duke 1290R හී පෙනුම, ආභාශය හා තරමක් 1290R ට සමාන තාක්ෂණය ඉහල TFT Bluetooth Meter එකක් යතුරුපැදියට එකතු කිරීමයි.මෙම ආභාශය මේ ආකාරයෙන්ම Duke 390  හටද 2017 දී KTM විසින් ලබා දෙනු ලැබුවා.

මෙම 125 යතුරුපැදියෙහි ආශ්වාදය දකුණු ආසියාවට අඩුවෙන් ලැබුනද 2011 සිට අද දක්වාම ඉතාම හොඳ අලෙවියක් ඇති 125 යතුරුපැදියක් ලෙසට Duke 125 නම් දරා සිටිනවා. කල් යත්ම මේ පිලිබඳව අවධානය යොමු කල KTM හවුල් සමාගම වන Bajaj Auto විසින් KTM සමඟ සාක්කුවට වාසිදායක 125 පමණක් නොව 150 සමඟද තරඟ වැදිය හැකි 125 යතුරුපැදියක් ලෙස Baby Duke කරළියට ගෙන ඒමට තීරණය කරනවා. එකි කාර්යයේ ප්‍රථිපලයක් ලෙස පසුගිය දෙසැම්බර්යේදි 2017 මාදිලියේ Baby Duke ආභාශයෙන් බැහැරව 2011 වූ පෙර මාදිලියේ KTM Duke 125 හා Duke 200 පෙනුමට 99% සමාණ  ලෙස ඉන්දියානු වෙලඳපොළට මෙම Duke 125 නිකුත් කරණු ලබනවා. මෙය නිකුත් වූ මුල් මාසයේම ඉතාම සාර්ථකව අලෙවියක් පෙන්නුම් කරන අතර එරට ඇති 95% 150 යතුරුපැදි වලට වඩාද සමහරෙක් 200cc යතුරුපැදි වලට වඩාද මෙම Duke 125 මිල අධික වනවා.

යතුරුපැදියෙහි ගුණ අගුණ එන්ජිම දෙසින් ආරම්භ කලොත් මෙම එන්ජිම 124cc DOHC සිව් පහර වෑල්ව 4ක එන්ජිමක් වනවා. දැනට ඉන්දියාවෙ හා මෙරට පවතින සෑම 150 යතුරුපැදියක්ම සහ Duke 200 සහ RC 200 හැර 200cc යතුරුපැදි ද SOHC වන අතර මෙකි Dual Cam එන්ජිම නිසා 125 එන්ජිමක් වූවද 150 ධාරිතාවයෙ එන්ජිමක බලය ජවය හා වේගය ලබා දීමට තරම් කාර්යක්ෂම වනවා. මෙම එන්ජිම අශ්වබල 14.5ක බලයක් ලබා දෙන අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 125කට ආසන්නව ලබා දෙනවා. තවද තත්පර 10කට අඩු කාලයකදි ඉතාම පහසුවෙන් 0 සිට පැයට කිලෝමීටර් 100 වේගය ලබා ගැනීමට ද මෙම DOHC 125cc  එන්ජිමට හැකියාව පවතිනවා.

මෙකි DOHC එන්ජිමේ වාසි ලෙස වේගය, කාර්යක්ෂමතාව පෙන්ව දිය හැකි අතර අවාසි ලෙස නිශ්පාදනය පිරි වැය අධික වීම, නඩත්තු පිරිවැය සාපේක්ෂව අධික වීම සහ අඩු ඉන්ධන කාර්යක්ෂමතාව පෙන්වා දිය හැකියි.

සිසිලන පද්ධතිය දෙසට යොමු උනොත් Duke 200හීම එන ද්‍රව සිසිලන පද්ධතිය ඒ ආකරයෙන්ම මෙම යතුරුපැදිය වෙත ලබා දී ඇති අතර මෙරට ඇති බොහෝ 150 යතුරුපැදි වායු සිසිලන ක්‍රමය ද RTR 200 4V වැනි 200cc යතුරුපැදි ද FZ 25 වැනි 250cc යතුරුපැදි ඔයිල් සිසිලන පද්ධති ද යොදාගන්නා අතර ඉතා අඩු එන්ජින් ධාරිතාවක් ඇති මෙම යතුරුපැදිය හට ද්‍රව සිසිලන පද්ධතියක් ලබා දීම එන්ජිමෙහි කාර්යක්ෂමතාව වැඩි කිරීමටත්, අනවශ්‍ය ලෙස එන්ජිම රත් වීම වළකාලිම්ටත් වාසි දායක ලෙස බලපාන අතර 125 යතුරුපැදියකට එහා ගිය පෙනුමක් ද ලබා දෙනවා. කෙසේ වෙතත් මෙකි Duke 125 යතුරුපැදිය මිලට ගන්නා අයෙකු වෙත Duke 200 යතුරුපැදියක් නඩත්තු කිරීමට යන පිරිවැයට බොහෝ සෙයින් සමාන පිරිවැයක් දැරීමට සිදු වනු ඇත.

ඉන්ධන සැපයුම EFI පද්ධතියක් හරහා සිදු වන අතර ඉන්ධම කාර්යක්ෂමතාව පෙට්‍රල් ලීටර එකකට කිලෝමීටර් 40-45 අතර අගයක් ගන්නවා මෙය දැනට මෙරට ඇති 150cc යතුරුපැදියක ඉන්ධන කාර්යක්ෂමතාවට සමාන හෝ අඩු වනවා. කෙසේ වෙතත් එම යතුරුපැදි වලට වඩා බල සම්පන්න Naked Sports යතුරුපැදියක් වන Baby Duke වෑල්ව 4ක DOHC එන්ජිම මේ ලබා දෙන ඉන්ධන කාර්යක්ෂමතාව පිලිබඳව සෑහීමකට පත් විය හැකියි.

Design එක දෙසට අවදානය ලබා දුන්නොත් 99%ම KTM Duke 200 එකට සමාන වන මෙම යතුරුපැදිය Graphics වලින් සහ එන්ජිමේ ධාරිතාවයෙන් පමණක් Duke 200 යතුරුපැදියෙන් වෙනස් වනවා.ලීටර 10.2ක ටැංකිය දුර ධාවනයේදි යම් ගැටලුවක් උනත් එය පිරවුම් හලක් නැති කිලෝමීටර් 350ක පමණ ගමනක් නම් පමණයි ඔබ කරදරේ වැටෙන්නේ. නමුත් මෙරට එතරම් දුරට දිවෙනා පාලු මාර්ග නොමැති නිසා එය එතරම් ගැටලුවක් වන්නේ නැහැ.

Gears ලෙස වේග 6ක ගියර් පද්ධතියක් යොදාගෙන ඇති අතර ගියර් අතර Gear Ratio එක ඉතාම කෙටි බවක් ගන්නවා මේ නිසා ඉතා ලඟ ලඟ ගියර් මාරු කිරීමට හැකියාව ලැබන නමුත් තරමක් මෙය ට්‍රැෆික් දාවනයේදි කරදරකාරි තත්වයක් මෙය මේ ආකාරයෙන්ම Duke සහ RC 200 යතුරුපැදි වලද දැකගත හැකි තත්වයකි.

Foot Pegs වල පිහිටීම, හැඩලයේ පිහීටිම හා පසුපස ආසනයේ පිහීටීම යන සියලුම අංගද Duke200 හට සමාන වන අතර යතුරුපැදියෙහි හිඳගත් පසු ධාවනය කරන තෙක් යතුරුපැදි දෙක අතර වෙනසක් කීමට බැරි තරම් ය. Duke 200 හී මෙන්ම දුර ගමන් තරමක් අපහසු අතර පාද වලට මෙන්ම පසුපස ප්‍රදේෂය යම් තරමකට වේදනාවකට ලක් වනවා. එමෙන්ම පසුපස ආසනයද එතරම් සුවපහසු මට්ටමක නැති බව සඳහන් කල යුතුයි.නමුත් ඉහල වේග වල ස්ථාවරව ගමන් කලහැකි Sporty Riding Position එකක් ලබා දීමට KTM අතපසු කර නැහැ. මංද මෙය සුවපහසුවට බර Commuter යතුරුපැදියක් නොව Street Sports Naked යතුරුපැදියක් වන  නිසා.

තව Duke 200 හී එන AHO ( Automatic Headlamp On)Halogen Head light එක ද LED Signal සහ Tail Lamp එක ද ඒ ආකාරයෙන්ම මෙම යතුරුපැදියට ලබා දී තිබෙනවා.නමුත් යුරෝපානු මාදිලියේදී 99% ම Duke 390 එකට සමාන වන පෙනුමක්, LED Headlamp එක්ක මෙන්ම සුවපහසු ඉඩ කඩ වැඩි ආසනද යොදාගෙන තිබෙනවා. කෙසේ නමුත් අවාසනාවකට මෙන් එම යතුරුපැදිය මෙරටට හෝ ඉන්දියාවට ආනයන වන්නේ නැහැ.

මීටර් පද්ධතිය දෙසට යොමු උනොත් මෙරට වෙලඳපොලට නිකුත් වීමට නියමිත දැනට ඉන්දියාවේ නිකුත් කර ඇති මාදිලියෙහි Duke සහ RC 200,250 යන මාදිලි දෙකෙහි එන සාමාන්‍ය Fully Digital මීටර් පද්ධතියක් දැකගත හැකි අතර මෙය Duke 390 සහ Ntroq 125 යතුරුපැදිය හැර මෙරට වෙලඳපොලෙන් ඔබට මිලට ගත හැකි යතුරුපැදියක දැකගත හැකි දියුණුම මීටර් එක ලෙස හැදින්විය හැකියි. මෙහි Speed,RPM,ODO,Trip,Time,Temperature,Fuel Gauge,Average Mileage, Side Stand Reminder සහ තවත් බොහෝ දේ අඩංගු වනවා මේ නිසා ධාවකයා හට හොඳ අවබෝදයකින් යතුරුපැදිය ධාවනය කල හැකියි. මෙහි යුරොපානු මාදිලියෙහි නම් Duke 390 හි එන Bluetooth Smart Connect සම්බන්දතාව ඇති TFT තිරයක් සහිත ඉතා දියුණු මීටර් පද්ධතියක් දැකගත හැකියි.

Frame එක ලෙස KTM වැඩි වශයෙන් යොදාගන්නා Trellis සැකිල්ලම යොදාගෙන තිබෙනවා. මෙහි දෙදරීම් පැයට කිලෝමීටර් 90 පමණ වන තෙක් ඉතාම අවම අගයක පවතින අතර ඉන් පසු තරමක් දෙඅත් සහ පාද ආශ්‍රිතව ඇති වනවා. එය මෙවනි ධාරිතාවක එන්ජිමක් සහිත සිව් පහර එන්ජිමක සාමාන්‍ය තත්වයක් ලෙස පෙන්වාදිය හැකියි.

Suspension සඳහා Duke 200 හීම එන WP 41mm Up Side Down Inverted Forks ඉදිරිපසට යොදාගෙන තිබෙනවා. මේ නිසා 125 යතුරුපැදියකට වඩා වැඩි පෙනුමක් මෙන්ම ධාවනයේදී සුවපහසුව සහ වංගුව වල වැඩි ස්තාවර බවක් ලබා ගැනිමට හැකි වනවා.
පසුපස ද WP Monosuspension KTM විසින් යොදාගෙන තිබෙනවා.

යතුරුපැදියෙහි සුවපහසුව,ස්තාවර බව සහ ආකාර්ෂණීය පෙනුමට අතිශයින් උපකාර වන ටයර් යුගලය ගැන කතා කලොත් ඉදිරිපස 110/70 ප්‍රමාණයෙන්ද පසුපස 150/70 ප්‍රමාණයෙන්ද පුලුල් ටියුබ් රහිත ටයර් ලබා දි තිබෙනවා.මේ නිසා වංගු වල සහ ඉහල වේග වල උපරිම ස්තාවර බව මෙන්ම ධාවනයේදි සුපහසුව, තිරිංග ප්‍රතිචාරය ඉහල මට්ටමක පැවතීම වැනි සාධක ප්‍රශස්තව පවතිනවා. තවද මෙහි රිම් යුගලය අඟල් 17ක Duke 200 හි එන රිම් යුගලම වනවා. මෙරට වෙලඳපොලෙහි ඇති පුළුල්ම ටයර් සහිත යතුරුපැදි කිහිපය KTM සතු වන අතර මෙහි වාසි ඉහත සදහන් කලා. අවාසි ලෙස අඩු ඉන්ධන පිරිවැය සහ ටයර් මාරු කිරීමට දැරීමට සාපේක්ෂව වැය වන වැඩි පිරිවැය සඳහන් කල හැකියි.

මෙහි තවත් විශේෂ අංගයක් වන්නේ Brakes ය. මීට වසර 3කට එහා නම් ABS යතුරුපැදි ඉතාම දුලබය නමුත් මේ වන විට RS200 ගෙන් ඇරඹ, Intruder 150, Gixxer SF, CB150R Exmotion, Apache RR310 සහ තවත් යතුරුපැදි කිහිපයක් මෙන්ම ඉදිරියේදි ද නව යතුරුපැදි ABS සමඟ නිකුත් වන නිසා ABS වැඩි අරුමයක් වන්නෙ නැත. නමුත් Duke 125 හී විශේෂත්වය වන්නේ 125 කාණ්ඩයේ මුල්ම ABS යතුරුපැදිය ලෙස මෙරට යතුරුපැදිය කරළියට එන්නේ Duke 125 නිසාය.

බ්‍රේක් පද්ධතිය ද 100%  KTM Duke 200 හී බ්‍රේක් පද්ධතියට සමාන වන අතර ඉදිරිපස 300mm Disk එකක් සමඟ Bybre කැලිපරයක් හා Single Channel එනම් ඉදිරිපස පමණක් ABS අන්තර්ගතය. පසුපස ද 230mm Disk එකක් සමඟ Bybre කැලිපර් එකක් ද Bajaj Pulsar RS200 හී මෙන් Speed Sensor එකක් ද දැකගත හැකියි. මේ නිසා ඉදිරිපස රෝදයේ වේගය මෙන්ම පසු පස රෝද්‍යේ වේගයද ECU එක මගිම් ගණනය කරගන්නා අතර හදිස්සි තිරිංග යෙදීමකදී ඉදිරිපස රෝදය කිසිසේත්ම ලිස්සා යෑම හෝ හිර විමක් නොවන අතර පසුපස රෝදය ද ලිස්සා යාම අවම කරයි මීට හේතුව ඉදිරිපස ඇති ABS සහ රෝද දෙකෙහීම ඇති වේගය ගණනය කරගන්නා වේග සංවේදක නොහොත් Speed Sensors ය.

අවසාන වශයෙන් මේ යතුරුපැදිය ගැන කතා කලොත් අනිවාර්යයෙන් මෙය මෙරට 125 සහ 150 ධාරිතාවයේ යතුරුපැදිය අතර මිල අධිකම යතුරුපැදිය වනවාට නොඅනුමානයි. මීට හේතු ඔබට ලිපිය පැහැදිලිව කියව්වා නම් පහසුවෙන් වටහා ගත හැකියි. මන්ද USD Forks, DOHC Engine, EFI, ABS, Trellis Frame යන අංග යොදා ගැනීම නිසා ආයාසයෙන්ම මෙහි ගුණාත්මක බව සහ මිල ද ඉහල යනවා.මෙවැනි අංග මෙරට  දැනට වෙලඳපොලට අල්ලාගෙන සිටින RTR200, NS200 වැනි යතුරුපැදි වලඳ දැකගට නොහැකි අංග ලෙස පෙන්වා දිය හැකියි.

ඔබට Duke 200 එකක් අවශ්‍ය යැයි සිතෙනවා නම් නමුත් මුදල් හිඟ නම් විසඳුම මේ Baby Duke 125 ය. එසේ නැත්නම් අඩුම මිලට KTM යතුරුපැදියක් අලුතෙන්ම අවශ්‍ය නම් එයට විසදුම ද මේ Duke 125. නමුත් ඔබ වේගයට සහ සාක්කුවට වාසියක් සොයන අයෙක් නම් ඔබට තවත් යතුරුපැදිය කිහිපයක්ම මෙරට වෙලඳපොල තුල මිලට ගත හැකියි.

මෙහි මිල ආසන්න වශයෙන් රුපියල් ලක්ෂ 5.50කට ආසන්න වන අතර ඉදිරි මාස 2 ඇතුලත මෙරට වෙලඳපොලට නිකුත් කිරීමට නියමිතයි. මෙම යතුරුපැදියට මේ මිල නියම උනා නම් ඔබට යුරෝපානු මාදිලියේ 125 යතුරුපැදියෙහි මිල ගැන යම් අදහසක් ලබා ගත හැකියි.

යතුරුපැදිය ගැන අදහසක් පහත ඡායාරූප නරඹා ලබාගන්න. ඔබේ අදහස් යෝජනා චෝදනා අපේ FB පිටුවට යොමු කරන්න.

කරුණාකර කතෘ අයිතිය සුරකින්න.

Wandi - වණ්ඩි©












1 comment:

  1. Husqvarna vitpilen 701 gana blog post eakak dapanko bro

    ReplyDelete