MotoGP Bike VS Street Bike වෙනස සිංහලෙන් - Wandi - වණ්ඩි

Wandi - වණ්ඩි

Sri Lanka's leading website about Motorcycles. Keep in touch with us...

Click here to read this post in ENGLISH


Tuesday, October 27, 2020

MotoGP Bike VS Street Bike වෙනස සිංහලෙන්



හැකි උපරිම සරළව සහ කෙටියෙන් මේ MotoGP ගැන පැහැදිලි කලොත් මේ තරඟ ඉසව්ව මුලින්ම ආරම්භ වෙන්නේ FIM Road Racing World Championship Grand Prix යන නමින් 1949දීය. පුරා  වසර 71 මුළුල්ලේ විවිධ වෙනස්කම් රාශියකට භාජනය වෙමින් යතුරුපැදි රේසිං ඉසව්වේ "ඔලිම්පික් උළෙල" ලෙසටත් යතුරුපැදි ක්ෂේත්‍රයේ "නාසා ආයතනය" ලෙසටත් MotoGP සිටිනවා.  

විවිධ ධාරිතාවයන්ගෙන් සහ එන්ජින් සැකස්මවල් වලින් ආරම්භ කල MotoGP වර්තමානයේ ඉසව් 4ක් යටතේ තරඟ පවත්වන අතර එය MotoGP Premier Class, Moto2, Moto3 සහ MotoE ලෙසට හැඳින්වෙනවා. මීට අමතරව Redbull Rookie Cup නමින් Moto3 යතුරුපැදි යොදාගෙන පවත්වන තරඟ ඉසව්වක්ද පවත්වනවා. 

මේ ඉසව් සඳහා යොදාගන්නා යතුරුපැදි ගැන දැන් සරළව සටහන් කරන්නම්.


1.MotoGP Premier Class

සිලින්ඩර 4ක ධාරිතාවය 1000cc වන යතුරුපැදි යොදාගනු ලබයි. සියලුම එන්ජින් සහ යතුරුපැදි Prototype (මූලාකෘති) ලෙසට නිර්මාණය කර ඇත.අශ්වබල 270 දක්වා බලයක් ජණනය කරයි. උපරිම වේගය පැයට කිලෝමීටර් 370 ආසන්න වන අතරම වේගය සහ බලය යතුරුපැදි නිශ්පාදකයා අනුව වෙනස් වෙයි. යතුරුපැදියෙහි බර ආසන්න වශයෙන් කිලෝග්‍රැම් 165 නොයික්මවයි.


වර්තමානයේ Honda, Ducati, Yamaha,Suzuki,KTM සහ Aprilia යතුරුපැදි මේ ඉසව්ව වෙනුවෙන් තරඟ කරනු ලබයි.


2. Moto2


අශ්වබල 140ට ආසන්න Triumph සමාගම නිශ්පාදනය කරනා 765cc  සිලින්ඩර 3 එන්ජින් වලින් යුතු යතුරුපැදි යොදා ගන්නා අතර උපරිම වේගය පැයට කිලෝමීටර් 300කට ආසන්න වෙයි. එමෙන්ම මෙහි බර කිලෝග්‍රෑම් 220 නොයික්මවන අතර මේ එන්ජින් Production මට්ටමේ එන්ජින් වේ එනම් Triumph සමාගම අලෙවි කරනා Street Triple RS යතුරුපැදියෙහි එන එන්ජිමයි. මේ එන්ජිමට Kalex, NTS,Speed Up, MV Agusta යන නිශ්පාදකයන් චැසිය සහ අනෙකුත් උපාංග නිර්මාණය කරනු ලබයි.


3. Moto3


අශ්වබල 55කට ආසන්න 250cc තනි සිලින්ඩර එන්ජින් යොදාගන්නා අතර පැයට කිලෝමීටර් 240කට ආසන්න වේගයක් ලබා දෙනු ලැබේ. මේ යතුරුපැදි සහ එන්ජින් ද මුලාකෘති වන අතර යතුරුපැදියෙහි බර කිලෝග්‍රැම් 90ව නොයික්මවයි. වර්තමානයේ Honda, KTM සහ Husqvarna මේ ඉසව්ව නියෝජනය කරයි.

4. MotoE


මේ ඉසව්ව ඉහත සඳහන් කල ඉසව් 3 තරම් ජනප්‍රිය මට්ටමක තවමත් නොමැති අතර  මේ ඉසව්ව සඳහා Eletric යතුරුපැදි යොදාගනියි. Energica විසින් මේ ඉසව්ව සඳහා යතුරුපැදි නිශ්පාදනය කරනු ලබයි.


මේ අතුරින වැඩිම වෙනසකම් හා බලයක් ඇත්තේ ලෝක ශූරතා ප්‍රිමියර් කාණ්ඩයේ යතුරුපැදි සදහා නිසා එම කාණ්ඩයේ GP යතුරුපැදි ගැන එහි තාක්ෂණය ගැන හා සාමාන්‍ය යතුරුපැදියකින් වෙනස් වෙන ආකාර ගැන කතා කරමු.


සාමාන්‍යයෙන් එක් MotoGP යතුරුපැදියක වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 3කට ආසන්න අතර මෙයට හේතුව වන්නේ මේ සියලුම යතුරුපැදි මූලාකෘතීන් ලෙස නිශ්පාදනය කිරීම සහ ලොව මිල අධිකම අමුද්‍රව්‍ය සහ තාක්ෂණයෙන් බල ගැන්වීමයි.


GP යතුරුපැදි සඳහා යොදා තාක්ෂණය වසර 5 සිට 10 දක්වා ඉදිරි කාලයක් ඇතුලත මාර්ග වල ධාවනය වන යතුරුපැදි වලට එම නිශ්පාදකයන් විසින් යොදාගනු ලබනවා. උදාහරණයක් ලෙසට Yamaha Blue Core Technology, Ducati Desmodromic Valves වැනි අංගයන් පෙන්වා දිය හැකියි. 


මූලිකවම MotoGP යතුරුපැදියක් Street Bike එකකින් වෙනස් වෙන අංගයන් සෑම අතකින්ම වෙනස් වෙන අතර තාක්ෂණයෙන් ඉදිරියෙන් සිටිනවා මේ වෙනස්කම් සරළව මෙලෙස සටහන් කරන්නම්.


එන්ජිම සඳහා ටයිටේනියම් ලෝහය සහ ගුවන් යානා නිශ්පාදනයට යොදා ගන්න අනෙකුත් ලෝහයන් යොදා ගැනීම:


ටයිටේනියම් යනු ලෝකයේ ඇති ශක්තිමත්ම හා බරෙන් අඩුම ලෝහයයි මේ නිසා එන්ජිම තුල ඇති වෙන අධික තාපයට ඔරොත්තු දීමට හැකියාව ලැබෙන අතර අනවශ්‍ය ලෙස යතුරුපැදියේ බර වැඩි වීමද අඩු වෙනවා මේ නිසා වැඩි වේගයක් ගැනීමට මෙන්ම හැසිරවීම පහසු කරගැනීමටද හැකියාව ලැබී තිබෙනවා.එමෙන්ම එන්ජිමේ අනෙකුත් කොටස් සඳහා මැග්නීසියම් ආලේප කිරීම සිදුකරනවා.


කාබන් ඩිස්ක් යොදා ගැනීම:



සාමාන්‍ය Sports Bike  එකක් හෝ Super Bike එකක් සඳහා ලෝහ Disk එකක් යොදා ගන්නා අතර GP යතුරුපැදිය සඳහා කාබන් ඩිස්ක් යොදා ගැනීම සිදු කරයි මීට හේතුව වට කීපයක් ධාවනය කිරීමේදී ඩිස්ක් එක තුල ඇතිවෙන අධික තාපය පාලය කිරීමයි කාබන් වලින් නිමකලද GP යතුරුපැදියක ඩිස්ක් වල සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් 300° පමණ වන අතර ලෝහ ඩිස්ක් යොදා ගත්තා නම් මේ තාපය දෙගුණ තෙගුණ විය හැකි අතර ලෝහ ප්‍රසාරණය නියමයන්ට අනුව ඩිස්ක් ප්‍රසාණය විය හැකි අතර මේ නිසා තිරිංග යෙදීමේදී ඩිස්කය කැඩීම උණු වීම විශාලවීම වැනි කරුණු නිසා ධාවකයා හට විශාල හානියක් සිදුවිය හැකියි.එමෙන්ම වැසි හා තෙත සහිත කාලගුණයක් ඇති දිනවල පමණක් ලෝහ Disk එකක් භාවිතා කරනවා.


Racing ECU සහ IMU භාවිතා කිරිම:


සාමාන්‍ය Street legal යතුරුපැදි වල එන ECU(Engine Control Unit) එක මහා මාර්ග වල ධාවනයට උචිත ලෙස සකසා ඇති අතර Traction Control,ABS මෙන්ම වේගයද ඒ අනුව සැකසී තිබෙනවා.සාමාන්‍ය Street Legal යතුරුපැදියක ලබා ගත හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 300 ලෙස ජාත්‍යන්තරව නීතී මඟින් පාලනය කර ඇති අතර සියලුම Standard ECU මගින් යතුරුපැදියේ වේගය 299දි අවහිර කරනවා. මේ නිසා GP යතුරුපැදි වලට කිසිසේත් Standard ECU නොගැලපෙන අතර විශේෂයෙන් සකසන ලද Racing  ECU යතුරුපැදි නිශ්පාදකයන් යොදා ගන්නවා. මේ නිසා පැයට කිලෝමිටර 360ක පමණ සාමාන්‍ය වේගයකින් යතුරුපැදිය ධාවන කිරීමට හැකියාව ලැබෙනවා.එමෙන්ම සියලුම ගණනය කිරීම් Racing පථයට ගැලපෙන ලෙස සැකසීම සිදු වෙනවා.


එමෙන්ම සියලුම GP යතුරුපැදි IMU (Inertial Measurement Unit) එකක් භාවිතා කරනු ලබනවා මෙමගින් ඉතාම ඉක්මනින් යතුරුපැදිය ධාවනය වන තත්වයට උචීත ලෙස බ්‍රේක්, එන්ජින් බ්‍රේක් සහ ට්‍රැක්ශන් කන්ට්‍රොල් යතුරුපැදිය විසින්ම සකසා ගැනීමට ඉඩ සලසනවා.


කාබන් ෆයිබර් Fairing Kit,Rims සහ Frame යොදා ගැනීම Side mirros,Head,tail,signal lamps නොමැති වීම :



මෙය සිදු කරන්නේද යතුරුපැදියේ අනවශ්‍ය  බර අඩු කිරීමට හා ඉහල වේගයක් ගැනීමට උපකාර කිරීමටයි එමෙන්ම රේසින් පථය තුලදී ආලෝක බල්බ වලින් කිසිම ඵලයක් නොවෙන අතර මේ නිසා යතුරුපැදියට අනවශ්‍ය ලෙස 5KG පමණ එකතු වීම පමණයි සිදු වෙන්නේ.පැති කණ්නාඩි යොදා ගැනීමේදි නම් එය පසුපස හැරි බලා පසුපස ධාවකයා හඳුනා ගැනීමට වඩා පහසු හා ආරක්ශාකාරි වූවද පැති කණ්නාඩි නිසා සුලඟට ප්‍රතිවිරුද්ධව ධාවනය කිරීමේදි අනවශ්‍ය ලෙස බාධාවක් එල්ල වෙන නිසා පැති කණ්නාඩිද ඉවත් කර තිබෙනවා.එමෙන්ම වැසි හෝ මීදුම් සහිත රේසිං ධාවන තරඟයකදි පමණක් පසුපසට එක් රතු ලාම්පුවක් එකතු කරනවා මෙය සිදු කරන්නේ පසුපසෙන් එන ධාවකයා හට ඉදිපස යතුරුපැදිය හොඳින් දර්ශනය වීමටයි.


චැසිය ලෙසට KTM හැර අනෙකුත් සියලුම නිශ්පාදකයන් Carbon Fiber Chassis සහ යම් අවස්ථා වල Carbon Fiber Swing arm ද භාවිතා කරනවා නමුත් KTM පමණක් Moto2 යතුරුපැදියක් මෙන් Steel Frame එකක් තම GP යතුරුපැදි වලට භාවිතා කරනවා.



සුපිරි ඉන්ධන භාවිතය:


Octane 100 වර්ගයේ ඉතාම පිරිසිදු ඉන්ධන මේ යතුරුපැදි සදහා යොදා ගන්නා අතර සෑම යතුරුපැදියකම ඉන්ධන ප්‍රමාණය ලීටර 22ක් විය යුතුයි.මේ OCT100 ඉන්ධන වහා ගිනි ඇවිලෙන සුලු අතර සුලු හදිසි අනතුරකින් පසුව වූවද ධාවකයන් තරඟය අතහැර දමන්නේ ඉන්ධන කාන්දුවකින් සිදුවිය හැකි හානිය වැඩි බව සහ ධාවන පථය මත හිතා මතා තෙල් හෝ යතුරුපැදියේ කොටස් විසිරීම දඩුවම් ලැබිය හැකි වරදක් නිසයි.


විශේෂ ටයර් යොදාගැනීම:



වර්තමානයේ Michelin යටතේ එන විශේෂිත රේසින් ටයර් සියලුම යතුරුපැදිය භාවිතා කරන අතර මෙම ටයර් සාමාන්‍ය street legal යතුරුපැදි ටයර් වලට වඩා සැකසුමෙන්ද භාහිර පෙනුමෙන්ද වෙනස් වෙනවා මීට හෙතු ලෙස ධාවන පථය තුල ස්තාවර බව ලබා ගැනීම හා වංගු වලදි ස්ථාවර වීම සහ අඩු ඝර්ෂණයක් මගින් වැඩි වේගයක් ලබා ගැනීම පෙන්වා දිය හැකියි. 



MotoGP යතුරුපැදියක් වංගුවකදි පිටත පැත්තේ සිට සාමාන්‍යයෙන්  64°(අංශක 64) ඇතුල් පැත්තට නැවෙන අතර ඇතුල් පැත්තේ සිට එම කෝණය 26° ලෙස සඳහන් කල හැකියි එමෙන්න මේ Lean angle එකෙදී පොලව හා ටයර් මත ඇති සම්බන්ධතාවයේ වර්ගඵලට සාමාන්‍ය ක්‍රෙඩිට් කාඩ් එකක ඝනකමට සමාන වෙනවා එනම් ටයරයේ මුලු වර්ගඵලයෙන් 1%කටත් අඩු ප්‍රමාණයක් මේ නිසා අනිවාර්යයෙන් විශේෂිත වූ රේසින් ටයර් යොදාගැනීම අවශ්‍ය වෙන අතර ධාවන පථයේ ස්වභාවය සහ කාලගුණය අනුව විවිධ ටයර් යොදා ගැනීම සිදු කරනවා. මෙය Wet, Hard, Medium සහ Soft ලෙසට වර්ග කරනවා.



සුවිශේෂී මීටර් පද්ධතිය:




වේගය, Lap Time, RPM, Mapping, Gear Position වැනි අංග වලට අමතරව මෙහි ධාවකයාට වෙන් වන ගැරෙජ් එකේ කාර්මිකයන් විසින් සහ තරඟ තීරක වරු විසින් ලබා දෙන පණිවිඩ සටහන් වනවා. උදාහරණයක් ලෙසට අංක 93 ධාවකයාට ඉතාම ආසන්නයෙන් හෝ තර්ජනයක් වන අන්දමින් පසුපසින් වේගවත් ධාවකයෙකු පැමිනෙනවා නම් එම ධාවකයාගෙ අංකය මෙහි පෙන්නුම් කරනවා. 


එමෙන්ම Fuel Mapping වෙනස් කර ගත්‍ය් යුතු අවස්ථා, තරඟ නීති උල්ලංඝනය කරන අවස්ථාවක Long lap panalty ලබා දීම් වැනි දේද මෙහි පෙන්නුම් කරනවා.

මුලාකෘති ලෙස යතුරුපැදි නිර්මාණය කිරීම:


මේ යතුරුපැදි මහා පරිමානයෙන් නිශ්පාදනය නොකරන අතරම විශේෂ අවස්ථාවක හැර මේ යතුරුපැදි සාමාන්‍යය ජනතාවට මිලට ගැනිමට අලෙවිය නිකුත් කරනු නොලැබේ. මේ එක් එක් යතුරුපැදි වල එන්ජිම චැසිය සහ අනෙකුත් අංග යතුරුපැදිය ධාවනය කරනා ධාවකයාට ගැලපෙනම ලෙසට එම ධාවකයාගෙ කාර්මිකශිල්පින් විසින් සුසර කර සකසා ගන්නා අතර සියලුම කොටස් අතෙන් සහ මිනිස් ශ්‍රමයෙන් පමණක් සකසනු ලබයි.


මීට අමතරව තවත් බොහෝ තාක්ෂණනයන් MotoGP යතුරුපැදියක අන්තර්ගත වන අතර මේ යතුරුපැදියක් ධාවනය කිරීමට ද ලොව පුරා මිලියන ගනනක යතුරුපැදි ධාවකයන් අතුරින් අවස්ථාව හිමි වන්නේ 30 දෙනෙකුටත් අඩු පිරිසකටය.


මේ සියල්ල සමඟ කැටි වූ විද්‍යාව හා තාක්ශණය මත පදනම් වූ අධිබලැති අධිවේගී එක් MotoGP යතුරුපැදියක් නිශ්පාදනය සදහා සෑම Racing කණ්ඩායමක්ම ඇමරිකානු ඩොලර් මිලියන 3කට ආසන්න මුදලක් වැය කරන අතර තරඟ ගාස්තු ධාවකයන් හට ගෙවීම් හා දීමනා ප්‍රචාරණ සියල්ල සදහා තවත් මිලියන සිය ගනනින් වැය කරනවා.


මෙලෙස මුදල් වැය කිරීමට අපොසත් වීම හේතුවෙන් 2002 සිට 2008 දක්වා තරඟ කල කවසාකි සමාඟම MotoGP ඉසව්වෙන් ඉවත් විය. පසුව මොවුන් තම අවධානය World Superbike Championship හට ලබා දුන් අතර මොවුන් අති සාර්ථකව 2014 සිට වසර 6ක් පිට පිට WSBK ශූරතාවය දිනාගනිමින් සිටියි. (ඉදිරි දිනයක WSBK ශූරතාවය ගැන ලිපියක් රැගෙන එන්නම්)

පෙර සඳහන් කල පරිදි යතුරුපැදි ක්ෂේත්‍රයේ "නාසා ආයතනය" MotoGP බව සඳහන් කලේ වර්තමානයේ ‍යතුරුපැදි වල භාවිතා වන තාක්ෂණය 90%ක්ම ආභාශය ලබාගෙන ඇත්තේ MotoGP යතුරුපැදි වලින් නිසාවෙනි. එමෙන්ම ගත වූ වසර 5දී පමණ මාර්ගයේ ධාවනය වන යතුරුපැදි වලට  වැඩි වශයෙන් එකතු වූ නමුත් මීට වසර 10කට පමණ පෙර MotoGP යතුරුපැදි වල භාවිතා වූ Traction Control, Launch Control, Slide Control,Inertial Measurement Unit, Ride By Wire වැනි ඉලෙට්‍රොනික  තාක්ෂණයන් ද කලකට පෙර සිට භාවිතා වන Crossplane engine, Counter Rotating engine, Desmodromic Valves වැනි තාක්ෂණයන් ලොවට දායාද උනේද MotoGP නිසාවෙනි.


යම් පිරිසක් අතර ඇති වැරදි වටහා ගැනීමක් වන්නේ MotoGP සඳහා යොදාගන්නේ Honda CBR1000RR, Yamaha YZF-R1 යතුරුපැදි කියාය නමුත් එය සම්පුර්ණයෙන්ම වැරදි අතරම මේ ඉහත සඳහන් කල යතුරුපැදි භාවිතා වන්නේ World Superbike Championship වැනි ඉසව් සඳහා පමණි. MotoGP යතුරුපැදි යොදාගන්නේ MotoGP ඉසව් සඳහා පමනක් හැරුණකොට වෙනත් කිසිදු රේසිං ඉසව්වකට මේ යතුරුපැදි භාවිතා කරනු නොලැබේ.


එමෙන්ම මේ GP යතුරුපැදියකට යම් තරමකට හෝ ආසන්න විය හැකි එකම Street Legal යතුරුපැදිය Ducati V4 Superlaggera  වන අතර එය මෙරට මුදලින් කෝටි 2ක් පමණ වනවා. තවද ලොවටම මෙයින් ඇත්තේ යතුරුපැදි 500 පමණයි.



ඔබ මේ ලිපියෙන් GP යතුරුපැදි වල ස්භාවය හා GP තරඟය ගැන මූලික අවබෝධයක් ලබා ගන්නට ඇතියි සිතනවා. ඉදිරි දිනයක MotoGP තරඟය ගැන එහි ස්භාවය ගැන, නීතීරීත හා කණ්ඩායම් ගැන හා ලෝක පූජිත ධාවකයන් ගැන ව්ස්තරාතම ලිපි රැගෙන එන්නම්.GP ගැන ඔබ දන්න දෙයක් ඇති නම් හා ගැටලු ඇතිනම් අපේ FB පිටුවේ post එක මත comment කරන්න ස්තූතියි.


කරුණාකර කතෘ අයිතිය සුරකින්න.


Wandi - වණ්ඩි©

No comments:

Post a Comment